බුද්ධි පරීක්ෂණය

ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි.
මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය.
චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි.
රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. මන්ද යත් මිසදිටු ජන සමාජයක් එකවරම සමිදිටු ජන සමාජයක් බවට පත් කිරීම අතිශය දුෂ්කර නිසාය.
මෙරට ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී.
එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.
වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.
රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය.
මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?
සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.
අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.
රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය. එය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් යුක්ත විය. මේ සියල්ල අපට උරුම වූයේ බුදු දහමේ ආභාසයෙන් නොවේද?
Comments
Post a Comment