Tuesday, July 28, 2009

රට වෙනුවෙන් පැතූ පැතුමක්.....




ජල තරංග එයි නැගී එයි නැගී
යයි බිදී තිසා වැවේ
මට පෙනේ සැරින් සැරේ
නොනවතී නොනවතී

අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී
මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි
ඇයි උපන්නෙ ඒ ලෙසේ මා සිතේ
අපි වදින්නෙ මේ ලෙසින් ප්‍රීතියෙන්

ඒ දිනේ එදා දිනූ සුර විරූ
රජු තැනූ දාගැබයි මේ ලෙසේ
ඒ වැවේ ජලේ දිනන්නේ අප කුසයි
කෝ මෙදා ඒ විරූ රජවරූ

සැලෙන බිදෙන දියරැලි මට කියයි කතාවක්
නැවත නගින විට දෙයි මට දිලෙන අනාවක්
උපදීවා පිනැති රජෙක් නැවත වතාවක්
අස් වදින්න ඒ පැනින් දස දහස් වතාවක්

චමි

Tuesday, July 21, 2009

කිරි අල

තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් බෝගයක්ව පැවති කිරිඅල, අද විශාල විදේශ වෙළදපොලක් ඇති මුදල් උපයන බෝගයකි.

කිරිඅල කන්න බෝගයක් නොවේ. වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් සහිත ඉඩම් වල එය වගාකළ හැකිය.

දේශගුණික අවශ්‍යතා
කිරිඅල සෙවන ලැදි බෝගයකි. එසේ වුවද, වියළි හා අතරමැදි කලාපවල ආන්තික කුඹුරු වල, තෙත් කලාපයේ බෑවුම් හා ඕවිටි බිම්වල, විවෘත බිම් තත්වයෙන්, ප්‍රධාන බෝගයක් ලෙසද මහා පරිමානයෙන් වගාකෙරේ.

සෙවන දක්වන ලැදියාව නිසා කිරිඅල තෙත් හා අතරමැදි කලාපයේ පොල් හා කෙසෙල් වගා සදහා යෝශ්‍ය අතුරු බෝගයකි. එසේම එය අඩු අවදානයකින් රැකබලාගත හැකි, කෘමි හා ලෙඩ රෝග ඉතා අවම මට්ටමක පවතින බෝගයක් ද වේ.

නිර්දේශිත ප්‍රභේද

ඉසුරු
වෙළදපොලට යෝග්‍ය ඉහළ ගුණාත්මයේ අල නිපදවයි. ඕනෑම වගා ක්‍රමයකට අනුවර්තනය වේ. අවම අවධානයක් යටතේ මාස 8 – 10 දී වැඩි අස්වැන්නක් ලබාදේ.

රෝපණ ද්‍රව්‍ය
වගාවක අස්වනු නෙලීමෙන් පසු ලබාගන්නා මව් අල, පැල නිපදවා ගැනීම සදහා භාවිතා කළ හැකිය. හොදින් වැඩුණු මව් අලයකින් සිටුවීමට සුදුසු තත්වයේ පැල 15 පමණ ලබා ගැනීමට පිළිවන. පවතින වගාවක වැඩි අස්වැන්නක් ලබාදුන් මව් අල වලින් ලබාගන්නා පැල සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලැබේ.

පැල සකසා ගැනීම සදහා, තෝරාගත් මව් අල අගල් 1 ½ - 2 පමණ ඝනකම පෙතිවට කපා තවාන් කරන්න. තවානෙහි තෙතමනය පවත්වා ගැනීමට වරින් වර ජලය සපයන්න. තවාන්කර මාස 1 ½ පමණ සිටුවීම සදහා සුදුසු පැල නිපදවාගත හැකිය.

පළමු වගාවේ මව් කරඩු ද එකවරම නව වගාවක සිටුවීම සදහා යොදාගත හැකිය.

පරතරය
බීජ අල අවශ්‍යතාවය පැල 4000 අක්කරයට.
ලබාදෙන පරතරය වගා ක්‍රමය අනුව වෙනස් වේ.
තනි වගාවක් ලෙස - මීටර් 1 x 1
අතුරු වගාවක් ලෙස - මීටර් 1.2 x 1.2

වලවල් සැකසීම
සැහැල්ලු පසක නම්සෙ.මී 45 x 45 x 45 x ප්‍රමාණයටද මැටි ප්‍රමාණය අධික තද පසක නම් සෙ. මී. 60 x 60 x 60 x ප්‍රමාණයටද වලවල් සකසා ගන්න. වලෙහි ගැඹුරින් 1/3 පමණ ප්‍රමාණයක්, මතුපිට පස් සහ තාච්චියක් පමණ හොදින් දිරාපත්වු කාබනික පොහොර වලින් පුරවන්න.



පැල සිටුවීම
ඉහත ලෙස සකසා ගත් වලෙහි මැදින් සැහැල්ලුවට සිටිනසේ පැලය සිටුවන්න. මේ සදහා වඩා සුදුසු වන්නේ වැසි කාලයේ ආරම්භ යයි. පසෙහි තෙතමනය සීමාසහිත වන ප්‍රදේශයන්හි වල ඇතුලත පොල්ලෙලි තට්ටුවක් උඩ අතට සිටින සේ අතුරා ගන්න.

කෙසෙල්, පොල් වැනි බෝග සමග අතුරු වගාවක් ලෙස කිරිඅල වගා කරන විට එම බෝග වලින් ඉවතලන ද්‍රව්‍ය කාබනික පොහොර ලෙස යොදාගත හැකිය. ප්‍රධාන බෝගයෙන් සෙවන ලැබෙන නිසා පස වියළීයාම බොහෝදුරට අඩු වීම මෙහි ඇති වාසියයි.

පොහොර යෙදීම
පැල සිටුවීමේදී යොදන ලද කාබනික පොහොර වලට අමතරව පහත සදහන් අන්දමට රසායනික පොහොරද වගාවට යොදන්න. එමගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.





කෙසේ වුවද පොහොර යෙදිය යුත්තේ පසෙහි තෙතමනය පසෙහි තෙතමනය පවතින අවස්ථාවේදී පමණකි. එනම්, වර්ෂාවකට හෝ ජල සම්පාදනයකට පසුවය. එනිසා පොහොර යොදන වාර ගණන මේ අනුව තීරණය කරන්න. කෙසේ වුවද නිර්දේශිත සම්පූර්ණ පොහොර ප්‍රමාණයම බෝගයට ලබාදීමට වග බලා ගන්න.

පොහොර යෙදීමේදී, වගාවේ වයස පිළිබදව නොසලකා අනවශ්‍ය ලෙස පොහොර භාවිතා කළහොත් ගසේ වර්ධක වර්ධනය වේගවත් වේ. එවිට හටගන්නා ~~අල කුරුලිලන්" සංඛ්‍යාව අඩුවේ. එම අල කුරුල්ලන්ගේ තිබිය යුතු වෙළදපොල ප්‍රම්තිය ද නැති වී යයි.

වල් පැලෑටි පාලනය
වගාවේ මුල් අවස්ථාවේදී එනම් බෝගයේ පත්‍ර වලින් පොළව ආවරණය වන තෙක් වල් පැලෑටි පාලනය පිළිබද සැලකිලිමත් වන්න.

පස් යෙදීම
බෝගය සිටුවා මාස 4 – 4 ½ වන අවස්ථාවේ අල කුරුල්ලන්ගේ වැඩීම ආරම්භ වේ. මෙම අල කුරුල්ලන් බෝගයේ වයස මාස 8 – 10 වන තෙක් පස තුල වැඩේ.

පොහොර යොදන හා වල් මර්ධනය කරන සෑම අවස්ථාවකදීම ක්‍රමයෙන් පැලය අසලට පස් දමා වල පුරවන්න.

කෘමි හා රෝග පාලනය
කිරිඅල වගාවට දරුණූ කෘමි හා රෝග හානි ඇති වන්නේ කලාතුරකිනි. නමුත් ඉඩමේ ජලය බැසයාම දුර්වලවු විට සහ පසෙහි මැට් ස්වභාවය අධ්කවුවිට විට මුල් කුණූවීමේ රෝග ඇති විය හැකිය. එවිට පත්‍ර කහ පාට වී පැල මිය යයි.
මෙයට අමතරව කූඩිත්තන් හා කීඩෑවන් නිසාද බෝගයේ පත්‍ර වලට හානි සිදුවිය හැකිය. කන්න කිහිපයක් එකම ඉඩමේ කිරිඅල වගා කළ විට වටපනු හානියද ඇති වීමට ඉඩ තිබේ.

ක්‍රමවත් වගා පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම අහිතකර තත්වයන් මගහරවා ගත හැකිය.

අස්වනු නෙලීම
අල කුරුල්ලන් මේරීමත් සමග ගසේ පත්‍ර හටගැනීමේ වේගය අඩුවේ. එවිට හටගන්නා පත්‍රවල ප්‍රමාණය කුඩා වන අතර නටුවේ දිගද අඩුවේ. මෙවැනි අවස්ථාවක පවතින වගාවන්හී අල කුරුල්ලන් පොළව මතුපිටට වර්ධනය වන බවද දැකගත හැකිය.

මේ අවස්ථාවේදී ගස වටා පස් ඉවත්කර තුවාල නොවනසේ අල කුරුල්ලන් ගලවා ගන්න.

අස්වැන්න
හොදින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 16 – 18 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න සැකසීම
නෙලාගත් අල කුරුල්ලනගේ ගුණාත්මය හීන නොවී දිගු කළක් ගබඩා කර තබාගත හැකිය. අල කුරුල්ලන් පිරිසිදු කර තට්ටු 3 - 4 වඩා උස නොවන පරිදි හොදින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත ස්ථානයක ගබඩා කර තබන්න. දිගැටි ප්ලාස්කු හැඩයෙන් යුත්, අලයේ පසු හා ඉදිරි කෙළවරවල වට ප්‍රමාණයන්හි වෙනස අඩු, දුඹුරු පැහැති ශල්කමය ආවරණයක් සහිත අල කුරුල්ලන් සදහා වැඩි වෙලදපොලක් ඉල්ලුමක් පවතී.

Thursday, July 16, 2009

කෘෂිකර්මාන්තය වෙනුවෙන්.......

වැල්දොඩම්

උද්භිද විද්‍යාත්මක නාමය Passiflora edulis Sims

කුලය : පැසිෆ්ලොරේසියේ ( Passifloraciae )



උද්භිද විද්‍යාත්මක නාමය

වැල්දොඩම් Passiflora edulis Sims ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අතර මෙම විශේෂය තුළ එකිනෙකට වෙනස් ආකාර ( Forms ) දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය ( Passiflora edulis F. edulis ) සහ කහ පැහැති ආකාරයයි. ( Passiflora edulis f. flavicarps )

සම්භවය : මින් දම් පැහැති වැල්දොඩම් බ්‍රසීලයේ සම්භවය වී ඇතැයි සැලකේ. කහ වර්ගයේ සම්භවය නිශ්චිතව නිගමනය කොට නැති අතර එය දම් පැහැති වර්ගයේ ජාන විකෘතියක් මඟින් හෝ දම් වර්ගය වෙනත් පැසිෆ්ලෝරා විශේෂයක් සමඟ දෙමුහුන් වීමෙන් ඇතිවිනැයි අනුමාන කරයි.

වගා කරන ප්‍රදේශ : දැනට වැල්දොඩම් වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලය. නමුත් මෙම බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් යටතේ පමණක් වගා කල හැක.

භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතුරකිනි. එහි පත්‍ර කොළ එළවළුවක් ලෙසද ආහාරයට ගනී.

වැල්දොඩම් යුෂ ග්‍රෑම් 100 ක පෝෂක ප්‍රමාණය

පදාර්ථය ප්‍රමාණය

ජලය ග්‍රෑම් 89
ශක්තිය කිලෝ කැලරි 37
ප්‍රෝටීන් ග්‍රෑම් 1.2
මේදය ග්‍රෑම් 0.2
කාබෝහයි‍ඩේට් ග්‍රෑම් 7.7
කැල්සියම් මිලි ග්‍රෑම් 10
පොස්පරස් මිලි ග්‍රෑම් 30
යකඩ මිලි ග්‍රෑම් 0.7
කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 1968
තයමීන් මයික්‍රො ග්‍රෑම් 10
රයි‍බො‍ප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 20
විටමින් සී මිලි ග්‍රෑම් 13

වැල්දොඩම් යුෂ විටමින් A හා විටමින් C වලින් පොහොසත්ය. කහ පැහැති ආකාරයේ සහ දම් පැහැති ආකාරයේ අඩංගු සීනි වර්ග වල ප්‍රමාණයේ එතරම් වෙනසක් දක්නට නොමැති නමුත් කහ පැහැති වර්ග වල අඩංගු ඇසිඩ් ප්‍රමාණය දම් පැහැති වර්ග වලට වඩා වැඩි බැවින් කහ පැහැති වර්ග ඇඹුල් ගතියෙන් යුක්තය. එනම් කහ පැහැති වර්ගයේ සීනි : ඇසිඩ් : 3 : 8 පමණ වන අතර දම් වර්ගයේ එය 5 : 1 වේ.
දේශගුණික අවශ්‍යතා

වසර මුළුල්ලේම හොඳින් පැතිරුණු වාර්ෂාපතනයක් ඇති තෙත් කලාපීය ප්‍රදේශවල මෙය පහසුවෙන් වගා කල හැකිය. වියළි හා අතරමැදි කලාපවල වගාකරන විට වියළි කාලවලදී ජල සම්පාදනය කල යුතුය.

පස

මනා ජලවහනයක් පවතී නම් සැහැල්ලු වැලි ලෝම මෙන්ම මැටි ලෝම පස්වලද මෙම බෝගය වගාකල හැකිය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 6.0 - 7.5 වේ.

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

රහංගල දෙමුහුම් වර්ගය පැල නිෂ්පාදනය සෑමවිටම සිදු කරනු ලබන්නේ අතු කැබලි මුල් අද්දවා ගැනීමෙනි. එසේ නොමැතිව එහි බීජ භාවිතා කර පැල නිෂ්පාදනය කළහොත් ඊළග පරම්පරාවේදී ලක්ෂණ වෙනස් වේ.

දැනට නිර්දේශිත කහ පැහැති ප්‍රභේදයක් නොමැති බැවින් හොඳ අස්වැන්නක් දෙන නීරෝගී හොඳ ගුණාත්මයෙන් යුත් ගෙඩි සහිත වැල් තෝරාගෙන ඒවායේ අතු මඟින් පැල නිෂ්පාදනය කරගත හැක. මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණක් වන්නේ ප්‍රවේණිකව වෙනස් වැල් කිහිපයක් තෝරාගෙන පැල නිෂ්පාදනය කරඒවා මිශ්‍ර වන ලෙස සිටුවීමයි. එකම ප්‍රවේණියක් සහිත කහ පැහැති වැල් අතර පරාගණය අසාර්ථක වන බැවින් මේ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

මීට අමතරව බීජ මඟින් ද පැල නිෂ්පාදනය කරගත හැකිය. නමුත් මෙහිදී සමහර වැල්වල අස්වැන්න, ගුණාත්මය, දිරිය ආදියෙහි අඩුපාඩුකම් තිබිය හැකිය.

රෝපණ ද්‍රව්‍ය සැකසීම

බීජ පැල නිෂ්පාදනය

හොඳින් ගෙඩි හටගන්නා ඵල දරණ රසින් වැඩි නීරෝගී වැල් වල හටගන්නා ඵල වලින් බීජ ලබාගන්න. බීජ වටා තිබෙන මදය ඉවත් වන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න. මදය ඉවත් කිරීමෙන් බීජ ප්‍රරෝහණය තරමක් ඉක්මන් කරගත හැකිවේ. බීජ මද පවනේ වේලා ගන්න. වෙන් කරගත් බීජ කල් නොයවා සිටුවීමට යොදාගන්න. සිටුවීමට පෙර පැය 8 ක් පමණ ජලයේ පොගවා ගැනීමෙන් ප්‍රරෝහණය ඉක්මන් වේ.

වියළි බීජ වාතාශ්‍රය පාලනය කළ බඳුන්වල දමා ශීතකරණයක තැබීමෙන් අවුරුද්දක් පමණ ප්‍රරෝහන ශක්තිය හානි නොවී තබාගත හැකිය.

බීජ තවාන් කිරීම

අවශ්‍ය පැල ප්‍රමාණය අනුව පැල තවාන් කරන ආකාරය තීරණය කරන්න. පැල විශාල ප්‍රමාණයක් අවශ්‍ය විට තවානක් සකසා ගතහැකි වේ. එසේ නොමැති විට තරමක විශාල බඳුනක බීජ තවාන් කළ හැකිය.

බීජ තවාන

ජලය හොඳින් බැසයන ස්ථානයක තවාන සකසා ගන්න. පැල දැඩි හිරු රැසින් හා වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට සුදු පැහැති පොලිතීන් කවරයකින් ආවරණය කළ හැකිය. මෙහි දෙපස විවෘතව තබන්න.

වැලි, මතුපිට පස් හා කොම්පෝස්ට් සමාන ප්‍රමාණ යොදා සාදාගත් මිශ්‍රණයක් සකස් කළ තවාන් පාත්තිය මත 10 - 15 Cm ඝනකමට අතුරන්න. තවාන මතුපිට ඒකාකාරීව සමතලා කර ලී කැබැල්ලක ආධාරයෙන් 5 Cm පරතරයකින් නොගැඹුරු ඇලි සකස් කොට ඇලි දිගේ 1 Cm පරතරයකින් පමණ බීජ දමා සියුම් පස් තට්ටුවකින් වසන්න. තවානට දිනපතා ජලය යොදන්න. සති 2 - 4 අතර බීජ ප්‍රරෝහණය සිදු වේ. මෙම පැළ සෙන්ටිමීටර් 20 - 25 පමණ වන විට ගලවා එකවරම ක්ෂේත්‍රයේ සකස් කළ වලවල් වල සිටුවිය හැකිය. නමුත් මෙසේ කළ හැක්කේ හොඳින් වර්ෂාපතනය ලැබෙන හෝ ජල සම්පාදනය කළ හැකි වකවානුවලදීය.

එසේ නොමැති නම් සෙන්ටි මීටර් 10 - 15 පමණ වැඩී ඇති පැල තවානෙන් ගලවා පොලිතීන් බෑග්වල සිටුවා ගත හැකි වේ. මේ සඳහා 10 Cm විශ්කම්භය ඇති 15 - 20 Cm පමණ උස පොලිතීන් බෑග් යොදාගත හැකිය. මෙම පැල සෙන්ටිමීටර් 25 - 30 පමණ වැඩුණු පසු ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය. කෙළින්ම තවානෙන් ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමට වඩා මෙම පැල ක්ෂේත්‍රයේ සිටුවීමෙන් ගස වඩාත් හොඳන් ස්ථාපනය කරගත හැක.

දඬු කැබලි තවාන

තෝරාගත් වැල් වල හොඳින් වැඩී ඇති අතු තෝරා ගන්න. මෙම අතුවලින් පුරුක් 3 - 4 ක් ඇති දඬු කැබලි කපා ගන්න. දඬු කැබලි කපාගන්න. දඬු කැබලි කැපූ වහාම ජල බඳුනක ගිල්වා තබන්න. ඉන්පසු සකස් කරගත් පොලිතීන් මලුවල හෝ තවානක මේවා සිටුවා ගත හැකි වේ. මුල් ඇදීම සඳහා භාවිතා කරන හොමෝනයක් සිටුවන කෙළවර කැපුම් තලයේ තැවරීමෙන් මුල් ඇදීම ඉක්මනින් මෙන්ම සාර්ථකව සිදු වේ.

අතු කැබලි සිටුවීමෙන් පසු හැම පැත්තක්ම ආවරණය කළ ප්‍රොපගේටරයක දැමීම මඟින් අතු කැබලි වියළී යාම වලක්වා හොඳින් මුල් අද්දවා ගැනීම කරගත හැකිය. දඬු කැබලිවල ඇති අංකුර සෙන්ටිමීටර් 25 - 30 පමණ වර්ධනය වූ පසු මෙම දඬු කැබලි ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සුදුසු වේ.


වලවල් සැකසීම

සෙන්ටි මීටර් 60 x 60 x 60 ප්‍රමාණයේ වලවල් කපන්න. දිරාපත්වූ කාබනික පොහොර කූඩා 02 ක් පමණ යොදා පැල සිටුවීමට සති 2 පමණ පෙර වලවල් පුරවා ගන්න.

පරතරය

තැනිතලා බිමක නම්

පේලි අතර - මීටර් 02
පේලි තුල පැල අතර - මීටර් 4 1/2
මේ අනුව අක්කරයකට පැල 450
බෑවුම් සහිත ඉඩමක නම්

පේලි අතර - මීටර් 2 1/2
පේලි තුල පැල අතර - මීටර් 4
මේ අනුව අක්කරයකට පැල 400
බෑවුම් සහිත ඉඩම්වල පැල සිටුවිය යුත්තේ සමෝච්ච රේඛා ඔස්සේය.

යටි වගාවක් හෝ මිශ්‍ර වගාවක් වශයෙන් වගා කරන විට ඉඩමෙහි අනෙක් බෝග වගා කර ඇති පරතරය අනුව වැල් දොඩම් පේලි අතර පරතරයද වෙනස් කල යුතුය.

පැල සිටුවීම

පැළ සිටුවීම වර්ෂා කාලය ආරම්භවන සැප්තැම්බර් - ඔක්තෝබර් මාස වලදී සිදු කිරීම වඩාත් සුදුසුය. මේ කාලයේ පැල සිටුවීමෙන් මල් හටගැනීම ප්‍රමාද නොවේ. එසේම ප්‍රථමවරට ලබා ගන්නා අස්වැන්නෙන්ම වැඩි ගෙඩි ප්‍රමාණයක් ද නෙලා ගත හැකි වේ.

නීරෝගී පැල පමණක් සිටුවන්න. පැල සිටුවීමෙන් සතියක් පමණ යනතෙක් කොල අතු වැනි දෙයක් යොදා ගනිමින් පැලවලට සෙවන ලබා දෙන්න.

කණු සිටුවීම

පැල සිටුවා ඇති පේලියට සෙන්ටිමීටර් 30 පමණ ඉදිරියෙන් සෑම පැල දෙකක් අතරින්ම ශක්තිමත් ආධාරක කණුවක් බැඟින් සිටුවන්න. එවිට පැලයට හොඳින් හිරු එළිය වැටේ.

පැල සිටුවා ඇති පරතරයට සමාන පරතරයක් ආධාරක කණු දෙකක් අතරද පවත්වා ගන්න. මේ සඳහා කොන්ක්‍රීට් කණු හෝ ලී දඬු යොදා ගත හැක. එම කණුවල උස මීටර් 2 1/2 පමණ උස විය යුතුය.

කම්බි ඇදීම



ගේජ් 14 ප්‍රමාණයේ ගැල්වනයිස් කම්බි පොළව මට්ටමේ සිට මීටර් 1 3/4 - 2 පමණ ඉහලින් ආධාරක කණුවලට තදින් සවිවන සේ පේලිය දිගේ අදින්න. තැනිතලා බිමක වගා කරන විට කම්බි ඇදිය යුත්තේ නැගෙනහිර - බටහිර දිශාව ඔස්සේය. එවිට වගාවට හොඳින් හිරුඑළිය ලැබේ.

වැල් පුහුණු කිරීම



ළපටි වැල් කම්බිය දක්වා වර්ධනය වීමට උපකාරවනු පිණිස දිගු කෝටු හෝ පාහින ලද පොල් අතු ආධාරක ලෙස යොදා ගන්න. නැතහොත් පැලය අසල කුඩා කෝටුවක් සිටුවා එහි ගැට ගසන ලද ලණු පොටක් කම්බිය දක්වා අදින්න.

කම්බිය දක්වා තනි කදක් ලෙස වැලට වැඩීමට සලස්වන්න. කම්බියට පහලින් වැලෙහි හටගන්නා පාර්ශ්වික අතු සියල්ල ඉවත් කරන්න. පසුව වැල කම්බිය තෙක් වැඩෙනවිට අග්‍රස්ථය කඩා පාර්ශ්වික ශාඛා දෙකක් විරුද්ධ දිශාවලට වැඩීමට සලස්වන්න. පසුව කම්බිය දිගේ දෙපසට වැඩෙන ශාකා මීටර් 02 පමණ දිගට වැඩුන පසු අග්‍රස්ථය කපා දමන්න. එවිට මල් හටගන්නා ද්විතීක රිකිලි හට ගැනීම හොඳින් සිදු වේ. මේ ද්විතීක ශාඛා කම්බියෙන් පහලට වර්ධනය වීමට සලස්වන්න. එකින්නෙක එතීම වලකා ගැනීම සඳහා කදෙන් හටගන්නා පහුරු කපා දමන්න.

මල් කෘතීමව පරාගනය කිරීම

දම් පැහැති පැෂන් ප්‍රභේදයට ස්වපරාගනය මඟින් ඵල පිහිටුවීමේ හැකියාව හැකියාව ඇතත් කහ පැහැති ප්‍රභේදය බොහෝ විට අසංගතිය හෝ ස්ව වන්ධ්‍යභාවය පෙන්වන බැවින් ස්ව පරාගණය සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. මේ නිසා කහ පැහැති ප්‍රභේදයේ ගෙඩි හටගැනීම සඳහා වෙනස් වැලක මල්වලින් පරාගණය වීම අත්‍යාවශ්‍ය වේ. ස්වභාවිකව මෙම මල් පරාගණය අම්බලන්පාලුවා (Xylocopa megaxylocopa frontalis) නමින් හඳුන්වන කෘමියා මඟින් සිදු වන නමුත් අතින් පරාගණය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල දක්නට ඇත. කහ ප්‍රභේදයේ මල් පිපීම සාමාන්‍යයෙන් දහවල් 12.00 ට පසු සිදු වෙයි. මල පිපෙන අවස්ථාවේදී මලේ කලංකය සෘජුව උඩට හැරී පවතී. මල පිපී පැයකට පමණ පසුව මලේ කලංකය පහළට නැමී යටි අතට හැරෙයි. මේ අවස්ථාවේදී කලංකය පරාග ලබාගැනීමට හොඳින් ග්‍රාහී වේ. නමුත් ප.ව. 1.00 ට පමණ පසු පරාගණය සිදු කිරීම ආරම්භ කළ හැකිය. කහ පැහැති ප්‍රභේදයේ මල් පරාගණය සිදු කරන විට එම මලේ පරාග වලින් හෝ එම වැලේ වෙනත් මලකින් හටගත් පරාගවලින් පරාගණය නොකළ යුතුය. වෙනත් වැලක හටගත් මලක පරාග වලින් පරාගණය කිරීමෙන් පමණක් පරාගණය සාර්ථකව සිදු වේ. වෙනත් මලකින් කඩාගත් පරාගධානි මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල ආධාරයෙන් කලංකය මත තැවරීම සිදුකළ හැකිය. එසේ නොමැති නම් සියුම් කෙදි සහිත බුරුසුවකින් කලංකය මත මෘදුව පිරිමැදීම සිදුකළ හැකිය. මල් පරාගණය කර පැය දෙකක් තුළ වර්ෂාව ඇති නොවුණහොත් ඵල පිහිටීම සාර්ථක වේ.

Wednesday, July 15, 2009

හෙල රුවන් පුතේ

හෙල රුවන් පුතේ
නොනිදා නැගිටින්නේ
ලක් මව සුරකින ලෙසින් පුතේ
කල එලි බසින්න කුමරුවනේ

ගිනි ගෙන දැවෙනා මුතු ඇටයේ
අගය රකින්නට යලි ආයේ
නිදිගැට හැරදා කඩුව මුවතියන්
සටනට යන්නට වරෙන් පුතේ

අදත් එදා මෙන් රැකුමට තොපගේ
රට ඇත ඇවිලී යුද ගින්නෙන්
නුඹ නැති පාඩුව දැනේ පෙරමුනේ
ඉන්නා නුඹගේ සොයුරු සිතේ

රැකගෙන මවzබිම සතුරන්ගෙන්
දෙවෙනි යුද්දෙ කලු සුද්දන්ගෙන්
පලවා මේ හැම නුඹ නිවසින්
කරන්න මේ දෙස දැහැමි දැයක්

සපුමල් කුමරුවනේ
දැය හිමි
සපුමල් කුමරුවනේ

Monday, June 15, 2009

දහම් දැයක් අපි ගොඩ නගමූ

රට දැය ජය බිම ලෙසට ගෙනා
සිහල පුතුන් අද මව් බිම නිදනා
වීර විකුම් පෑ පෙර දින ලෙසිනා
සිංහ පුතුන් ඒ දිවි දුන්නා

රට මිස මා නැත අරමුණ පෙරටම
ගෙන ගිය විරුවො පෙරදා ලෙසින්
ගැමුණු යුගය ඒ ගොඩනැගු විදියෙන්
නව යුගයක් අද ගොඩ නගමූ

යුද්ධය අවසන පෙර විරුවෝ
සිවුර තුලට වී යුධ කෙරුවෝ
යුද්දෙට පසු උන් ඔවුන්ගෙ සිත් තුල
කෙලෙස් මලත් ගෙන යුද්ධ කලෝ

අවි ගත් යුද්ධය මේ ලෙස ඉවරව
තීරණයන් මේ ගෙන යන්නේ
ධර්මය හිස මත තබා ගැනීමම
සුද්දෙට මුල් පියවර වන්නේ

පහව කෙරේවා වෛරයේ ගිනිදැල්
උදා කරන්නට සාමයේ අරුණළු
මේ සිත් පුබුදා සදහම් හමුවේ
දහම් දැයක් අපි ගොඩ නගමූ

2009-6-15
චමින්ද

Thursday, June 11, 2009

යුධ ජය මත හිඳ

යුධ ජය මත හිඳ

සතුටින්ම උතුරමින් සිනා මල් පුබුදන්න
දිවි දුන්න විරුවනේ සදා නොමැරී ඉන්න
අවසරයි කුමරුනේ ඉතින් අප හිනැහෙන්න
සතුරන්ගෙ පැරදුමේ ජය කොඩිය ඔසවන්න

දිවි දුන්න උන් නිසා සතුට උතුරා ගියා
පුද කලද දිවි දෙවා අප දමා ඔබ ගියා
හිනැහිලා සතුටු වී ජය කෙහෙලි ගෙන අයා
බලමු පිටුපස හැරී උඩුකුරුව වැතිරෙනා

විරු පුතුන් බිහිකලා සතුරු කැල සුං කලා
රට රැකපු උන් නිසා සිනා මල් පිබිඳුනා
හ`ඩන හදවත් තුලට මෙත් ගඟ=ල් හරවලා
සිහි කරමු උන් නමින් මව් පියන් නමඳලා

හිනැහෙමින් යන දිහා අප ඉන්නෙ බලබලා
පයෙන් පය ඉදිරියට තබන විරු දෙස යොමා
සතුටින්ම උතුරන්න හිත නොහොඳ අතැරලා
දිරි ගන්න සොයුරනේ ජය ටැඹම දෙස බලා

2009-1-2

Monday, June 8, 2009

මගේ අන්තර්ජාල ආගමික පාරවල්

මගේ අන්තර්ජාල ආගමික පාරවල් ටික එකතු කරලා අලුතින් වෙබ් පිටුවක් හදා ගත්ත. ඉදිරියේදී හම්බවෙන අලුත් ඒවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනව ඔබ දන්නා වෙබ් ලින්ක් එවන්න.

මේ මඟ යන්න

තෙරුවන් සරණයි

රට වෙනුවෙන් පැතූ පැතුමක්.....

ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි...