Thursday, July 16, 2009

කෘෂිකර්මාන්තය වෙනුවෙන්.......

වැල්දොඩම්

උද්භිද විද්‍යාත්මක නාමය Passiflora edulis Sims

කුලය : පැසිෆ්ලොරේසියේ ( Passifloraciae )



උද්භිද විද්‍යාත්මක නාමය

වැල්දොඩම් Passiflora edulis Sims ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අතර මෙම විශේෂය තුළ එකිනෙකට වෙනස් ආකාර ( Forms ) දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය ( Passiflora edulis F. edulis ) සහ කහ පැහැති ආකාරයයි. ( Passiflora edulis f. flavicarps )

සම්භවය : මින් දම් පැහැති වැල්දොඩම් බ්‍රසීලයේ සම්භවය වී ඇතැයි සැලකේ. කහ වර්ගයේ සම්භවය නිශ්චිතව නිගමනය කොට නැති අතර එය දම් පැහැති වර්ගයේ ජාන විකෘතියක් මඟින් හෝ දම් වර්ගය වෙනත් පැසිෆ්ලෝරා විශේෂයක් සමඟ දෙමුහුන් වීමෙන් ඇතිවිනැයි අනුමාන කරයි.

වගා කරන ප්‍රදේශ : දැනට වැල්දොඩම් වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලය. නමුත් මෙම බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් යටතේ පමණක් වගා කල හැක.

භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතුරකිනි. එහි පත්‍ර කොළ එළවළුවක් ලෙසද ආහාරයට ගනී.

වැල්දොඩම් යුෂ ග්‍රෑම් 100 ක පෝෂක ප්‍රමාණය

පදාර්ථය ප්‍රමාණය

ජලය ග්‍රෑම් 89
ශක්තිය කිලෝ කැලරි 37
ප්‍රෝටීන් ග්‍රෑම් 1.2
මේදය ග්‍රෑම් 0.2
කාබෝහයි‍ඩේට් ග්‍රෑම් 7.7
කැල්සියම් මිලි ග්‍රෑම් 10
පොස්පරස් මිලි ග්‍රෑම් 30
යකඩ මිලි ග්‍රෑම් 0.7
කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 1968
තයමීන් මයික්‍රො ග්‍රෑම් 10
රයි‍බො‍ප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 20
විටමින් සී මිලි ග්‍රෑම් 13

වැල්දොඩම් යුෂ විටමින් A හා විටමින් C වලින් පොහොසත්ය. කහ පැහැති ආකාරයේ සහ දම් පැහැති ආකාරයේ අඩංගු සීනි වර්ග වල ප්‍රමාණයේ එතරම් වෙනසක් දක්නට නොමැති නමුත් කහ පැහැති වර්ග වල අඩංගු ඇසිඩ් ප්‍රමාණය දම් පැහැති වර්ග වලට වඩා වැඩි බැවින් කහ පැහැති වර්ග ඇඹුල් ගතියෙන් යුක්තය. එනම් කහ පැහැති වර්ගයේ සීනි : ඇසිඩ් : 3 : 8 පමණ වන අතර දම් වර්ගයේ එය 5 : 1 වේ.
දේශගුණික අවශ්‍යතා

වසර මුළුල්ලේම හොඳින් පැතිරුණු වාර්ෂාපතනයක් ඇති තෙත් කලාපීය ප්‍රදේශවල මෙය පහසුවෙන් වගා කල හැකිය. වියළි හා අතරමැදි කලාපවල වගාකරන විට වියළි කාලවලදී ජල සම්පාදනය කල යුතුය.

පස

මනා ජලවහනයක් පවතී නම් සැහැල්ලු වැලි ලෝම මෙන්ම මැටි ලෝම පස්වලද මෙම බෝගය වගාකල හැකිය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 6.0 - 7.5 වේ.

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

රහංගල දෙමුහුම් වර්ගය පැල නිෂ්පාදනය සෑමවිටම සිදු කරනු ලබන්නේ අතු කැබලි මුල් අද්දවා ගැනීමෙනි. එසේ නොමැතිව එහි බීජ භාවිතා කර පැල නිෂ්පාදනය කළහොත් ඊළග පරම්පරාවේදී ලක්ෂණ වෙනස් වේ.

දැනට නිර්දේශිත කහ පැහැති ප්‍රභේදයක් නොමැති බැවින් හොඳ අස්වැන්නක් දෙන නීරෝගී හොඳ ගුණාත්මයෙන් යුත් ගෙඩි සහිත වැල් තෝරාගෙන ඒවායේ අතු මඟින් පැල නිෂ්පාදනය කරගත හැක. මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණක් වන්නේ ප්‍රවේණිකව වෙනස් වැල් කිහිපයක් තෝරාගෙන පැල නිෂ්පාදනය කරඒවා මිශ්‍ර වන ලෙස සිටුවීමයි. එකම ප්‍රවේණියක් සහිත කහ පැහැති වැල් අතර පරාගණය අසාර්ථක වන බැවින් මේ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

මීට අමතරව බීජ මඟින් ද පැල නිෂ්පාදනය කරගත හැකිය. නමුත් මෙහිදී සමහර වැල්වල අස්වැන්න, ගුණාත්මය, දිරිය ආදියෙහි අඩුපාඩුකම් තිබිය හැකිය.

රෝපණ ද්‍රව්‍ය සැකසීම

බීජ පැල නිෂ්පාදනය

හොඳින් ගෙඩි හටගන්නා ඵල දරණ රසින් වැඩි නීරෝගී වැල් වල හටගන්නා ඵල වලින් බීජ ලබාගන්න. බීජ වටා තිබෙන මදය ඉවත් වන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න. මදය ඉවත් කිරීමෙන් බීජ ප්‍රරෝහණය තරමක් ඉක්මන් කරගත හැකිවේ. බීජ මද පවනේ වේලා ගන්න. වෙන් කරගත් බීජ කල් නොයවා සිටුවීමට යොදාගන්න. සිටුවීමට පෙර පැය 8 ක් පමණ ජලයේ පොගවා ගැනීමෙන් ප්‍රරෝහණය ඉක්මන් වේ.

වියළි බීජ වාතාශ්‍රය පාලනය කළ බඳුන්වල දමා ශීතකරණයක තැබීමෙන් අවුරුද්දක් පමණ ප්‍රරෝහන ශක්තිය හානි නොවී තබාගත හැකිය.

බීජ තවාන් කිරීම

අවශ්‍ය පැල ප්‍රමාණය අනුව පැල තවාන් කරන ආකාරය තීරණය කරන්න. පැල විශාල ප්‍රමාණයක් අවශ්‍ය විට තවානක් සකසා ගතහැකි වේ. එසේ නොමැති විට තරමක විශාල බඳුනක බීජ තවාන් කළ හැකිය.

බීජ තවාන

ජලය හොඳින් බැසයන ස්ථානයක තවාන සකසා ගන්න. පැල දැඩි හිරු රැසින් හා වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට සුදු පැහැති පොලිතීන් කවරයකින් ආවරණය කළ හැකිය. මෙහි දෙපස විවෘතව තබන්න.

වැලි, මතුපිට පස් හා කොම්පෝස්ට් සමාන ප්‍රමාණ යොදා සාදාගත් මිශ්‍රණයක් සකස් කළ තවාන් පාත්තිය මත 10 - 15 Cm ඝනකමට අතුරන්න. තවාන මතුපිට ඒකාකාරීව සමතලා කර ලී කැබැල්ලක ආධාරයෙන් 5 Cm පරතරයකින් නොගැඹුරු ඇලි සකස් කොට ඇලි දිගේ 1 Cm පරතරයකින් පමණ බීජ දමා සියුම් පස් තට්ටුවකින් වසන්න. තවානට දිනපතා ජලය යොදන්න. සති 2 - 4 අතර බීජ ප්‍රරෝහණය සිදු වේ. මෙම පැළ සෙන්ටිමීටර් 20 - 25 පමණ වන විට ගලවා එකවරම ක්ෂේත්‍රයේ සකස් කළ වලවල් වල සිටුවිය හැකිය. නමුත් මෙසේ කළ හැක්කේ හොඳින් වර්ෂාපතනය ලැබෙන හෝ ජල සම්පාදනය කළ හැකි වකවානුවලදීය.

එසේ නොමැති නම් සෙන්ටි මීටර් 10 - 15 පමණ වැඩී ඇති පැල තවානෙන් ගලවා පොලිතීන් බෑග්වල සිටුවා ගත හැකි වේ. මේ සඳහා 10 Cm විශ්කම්භය ඇති 15 - 20 Cm පමණ උස පොලිතීන් බෑග් යොදාගත හැකිය. මෙම පැල සෙන්ටිමීටර් 25 - 30 පමණ වැඩුණු පසු ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය. කෙළින්ම තවානෙන් ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමට වඩා මෙම පැල ක්ෂේත්‍රයේ සිටුවීමෙන් ගස වඩාත් හොඳන් ස්ථාපනය කරගත හැක.

දඬු කැබලි තවාන

තෝරාගත් වැල් වල හොඳින් වැඩී ඇති අතු තෝරා ගන්න. මෙම අතුවලින් පුරුක් 3 - 4 ක් ඇති දඬු කැබලි කපා ගන්න. දඬු කැබලි කපාගන්න. දඬු කැබලි කැපූ වහාම ජල බඳුනක ගිල්වා තබන්න. ඉන්පසු සකස් කරගත් පොලිතීන් මලුවල හෝ තවානක මේවා සිටුවා ගත හැකි වේ. මුල් ඇදීම සඳහා භාවිතා කරන හොමෝනයක් සිටුවන කෙළවර කැපුම් තලයේ තැවරීමෙන් මුල් ඇදීම ඉක්මනින් මෙන්ම සාර්ථකව සිදු වේ.

අතු කැබලි සිටුවීමෙන් පසු හැම පැත්තක්ම ආවරණය කළ ප්‍රොපගේටරයක දැමීම මඟින් අතු කැබලි වියළී යාම වලක්වා හොඳින් මුල් අද්දවා ගැනීම කරගත හැකිය. දඬු කැබලිවල ඇති අංකුර සෙන්ටිමීටර් 25 - 30 පමණ වර්ධනය වූ පසු මෙම දඬු කැබලි ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සුදුසු වේ.


වලවල් සැකසීම

සෙන්ටි මීටර් 60 x 60 x 60 ප්‍රමාණයේ වලවල් කපන්න. දිරාපත්වූ කාබනික පොහොර කූඩා 02 ක් පමණ යොදා පැල සිටුවීමට සති 2 පමණ පෙර වලවල් පුරවා ගන්න.

පරතරය

තැනිතලා බිමක නම්

පේලි අතර - මීටර් 02
පේලි තුල පැල අතර - මීටර් 4 1/2
මේ අනුව අක්කරයකට පැල 450
බෑවුම් සහිත ඉඩමක නම්

පේලි අතර - මීටර් 2 1/2
පේලි තුල පැල අතර - මීටර් 4
මේ අනුව අක්කරයකට පැල 400
බෑවුම් සහිත ඉඩම්වල පැල සිටුවිය යුත්තේ සමෝච්ච රේඛා ඔස්සේය.

යටි වගාවක් හෝ මිශ්‍ර වගාවක් වශයෙන් වගා කරන විට ඉඩමෙහි අනෙක් බෝග වගා කර ඇති පරතරය අනුව වැල් දොඩම් පේලි අතර පරතරයද වෙනස් කල යුතුය.

පැල සිටුවීම

පැළ සිටුවීම වර්ෂා කාලය ආරම්භවන සැප්තැම්බර් - ඔක්තෝබර් මාස වලදී සිදු කිරීම වඩාත් සුදුසුය. මේ කාලයේ පැල සිටුවීමෙන් මල් හටගැනීම ප්‍රමාද නොවේ. එසේම ප්‍රථමවරට ලබා ගන්නා අස්වැන්නෙන්ම වැඩි ගෙඩි ප්‍රමාණයක් ද නෙලා ගත හැකි වේ.

නීරෝගී පැල පමණක් සිටුවන්න. පැල සිටුවීමෙන් සතියක් පමණ යනතෙක් කොල අතු වැනි දෙයක් යොදා ගනිමින් පැලවලට සෙවන ලබා දෙන්න.

කණු සිටුවීම

පැල සිටුවා ඇති පේලියට සෙන්ටිමීටර් 30 පමණ ඉදිරියෙන් සෑම පැල දෙකක් අතරින්ම ශක්තිමත් ආධාරක කණුවක් බැඟින් සිටුවන්න. එවිට පැලයට හොඳින් හිරු එළිය වැටේ.

පැල සිටුවා ඇති පරතරයට සමාන පරතරයක් ආධාරක කණු දෙකක් අතරද පවත්වා ගන්න. මේ සඳහා කොන්ක්‍රීට් කණු හෝ ලී දඬු යොදා ගත හැක. එම කණුවල උස මීටර් 2 1/2 පමණ උස විය යුතුය.

කම්බි ඇදීම



ගේජ් 14 ප්‍රමාණයේ ගැල්වනයිස් කම්බි පොළව මට්ටමේ සිට මීටර් 1 3/4 - 2 පමණ ඉහලින් ආධාරක කණුවලට තදින් සවිවන සේ පේලිය දිගේ අදින්න. තැනිතලා බිමක වගා කරන විට කම්බි ඇදිය යුත්තේ නැගෙනහිර - බටහිර දිශාව ඔස්සේය. එවිට වගාවට හොඳින් හිරුඑළිය ලැබේ.

වැල් පුහුණු කිරීම



ළපටි වැල් කම්බිය දක්වා වර්ධනය වීමට උපකාරවනු පිණිස දිගු කෝටු හෝ පාහින ලද පොල් අතු ආධාරක ලෙස යොදා ගන්න. නැතහොත් පැලය අසල කුඩා කෝටුවක් සිටුවා එහි ගැට ගසන ලද ලණු පොටක් කම්බිය දක්වා අදින්න.

කම්බිය දක්වා තනි කදක් ලෙස වැලට වැඩීමට සලස්වන්න. කම්බියට පහලින් වැලෙහි හටගන්නා පාර්ශ්වික අතු සියල්ල ඉවත් කරන්න. පසුව වැල කම්බිය තෙක් වැඩෙනවිට අග්‍රස්ථය කඩා පාර්ශ්වික ශාඛා දෙකක් විරුද්ධ දිශාවලට වැඩීමට සලස්වන්න. පසුව කම්බිය දිගේ දෙපසට වැඩෙන ශාකා මීටර් 02 පමණ දිගට වැඩුන පසු අග්‍රස්ථය කපා දමන්න. එවිට මල් හටගන්නා ද්විතීක රිකිලි හට ගැනීම හොඳින් සිදු වේ. මේ ද්විතීක ශාඛා කම්බියෙන් පහලට වර්ධනය වීමට සලස්වන්න. එකින්නෙක එතීම වලකා ගැනීම සඳහා කදෙන් හටගන්නා පහුරු කපා දමන්න.

මල් කෘතීමව පරාගනය කිරීම

දම් පැහැති පැෂන් ප්‍රභේදයට ස්වපරාගනය මඟින් ඵල පිහිටුවීමේ හැකියාව හැකියාව ඇතත් කහ පැහැති ප්‍රභේදය බොහෝ විට අසංගතිය හෝ ස්ව වන්ධ්‍යභාවය පෙන්වන බැවින් ස්ව පරාගණය සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. මේ නිසා කහ පැහැති ප්‍රභේදයේ ගෙඩි හටගැනීම සඳහා වෙනස් වැලක මල්වලින් පරාගණය වීම අත්‍යාවශ්‍ය වේ. ස්වභාවිකව මෙම මල් පරාගණය අම්බලන්පාලුවා (Xylocopa megaxylocopa frontalis) නමින් හඳුන්වන කෘමියා මඟින් සිදු වන නමුත් අතින් පරාගණය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල දක්නට ඇත. කහ ප්‍රභේදයේ මල් පිපීම සාමාන්‍යයෙන් දහවල් 12.00 ට පසු සිදු වෙයි. මල පිපෙන අවස්ථාවේදී මලේ කලංකය සෘජුව උඩට හැරී පවතී. මල පිපී පැයකට පමණ පසුව මලේ කලංකය පහළට නැමී යටි අතට හැරෙයි. මේ අවස්ථාවේදී කලංකය පරාග ලබාගැනීමට හොඳින් ග්‍රාහී වේ. නමුත් ප.ව. 1.00 ට පමණ පසු පරාගණය සිදු කිරීම ආරම්භ කළ හැකිය. කහ පැහැති ප්‍රභේදයේ මල් පරාගණය සිදු කරන විට එම මලේ පරාග වලින් හෝ එම වැලේ වෙනත් මලකින් හටගත් පරාගවලින් පරාගණය නොකළ යුතුය. වෙනත් වැලක හටගත් මලක පරාග වලින් පරාගණය කිරීමෙන් පමණක් පරාගණය සාර්ථකව සිදු වේ. වෙනත් මලකින් කඩාගත් පරාගධානි මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල ආධාරයෙන් කලංකය මත තැවරීම සිදුකළ හැකිය. එසේ නොමැති නම් සියුම් කෙදි සහිත බුරුසුවකින් කලංකය මත මෘදුව පිරිමැදීම සිදුකළ හැකිය. මල් පරාගණය කර පැය දෙකක් තුළ වර්ෂාව ඇති නොවුණහොත් ඵල පිහිටීම සාර්ථක වේ.

1 comment:

  1. හොද ලිපියක් ගොඩක් වටිනවා
    Word verification ඉවත් කරන්න පුලුවන්නම් ගොඩක් පහසුයි

    ReplyDelete

රට වෙනුවෙන් පැතූ පැතුමක්.....

ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි...